විවාහ මංගල චාරිත්‍රවල  සැබෑ අරුත කුමක්‌ද?

Thursday 11th October, 2018




ශ්‍රී ලංකාවේ විවාහ මංගල චාරිත්‍රවල අතීතය නිශ්චිතව දැක්‌විය හැකි නොවේ. නමුත් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීම තුළින් උදා වූ බෞද්ධ ප්‍රබෝධය හමුවේ මංගල චාරිත්‍රවලට ද බොදු මුහුණුවරක්‌ ලැබුණු බව පෙනී යයි. එයින් උඩරට පහතරට වශයෙන් පළාත්බද චාරිත්‍රවල සුළු වෙනස්‌කම් දැකිය හැකි වුවත්, ඒවා බොහෝ දුරට සමාන බව පෙනී යයි. මේ සියලු චාරිත්‍රවල සැබෑ අරුතක්‌ තිබේ. අප මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන් පෝරුවේ චාරිත්‍ර හා ඒවායේ අර්ථ නිරූපණය පිළිබඳව කරුණු කිහිපයකි.

මඟුල් පෝරුව

කුමර බඹසර හා කුමරි බඹසර ආරක්‍ෂා කරගත් චරිතවත් නව යුවළක්‌ අභිෂේක කර ආශිර්වාද කරන මණ්‌ඩපය මඟුල් පෝරුවයි. මෙකල කිසිදු ප්‍රමිතියකින් තොරව හුදු අලංකාරය යෑයි සිතා ගත් පිළිවෙළකට පෝරු නිර්මාණය කරන බව පෙනේ. එහෙත් මංගල පෝරුවක්‌ සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. පෝරුව ගැන කියෑවෙන පුරාණ කියමන්වලින් පෙනෙන්නේ එය සිදුහත් යශෝධරා යුවළට සදන ලද පෝරුවට අනුකූල විය යුතු බවකි. පහත කවියෙන් මේ බව සනාථ වෙයි.

දෙදෙව් ලොව දෙව් පැමිණ සිදුහත් කුමරුහට සැදු විලසිනා

දිග සොලස සහ පළල පසළොස ලෙසට සරිලන විලසිනා

ළඟට පැමිණෙන අපල උවදුරු දුරු කරන හැටි දැනගෙනා

මඟුල් පෝරුව සදනු යුවතිපතිට හැම සැප පතමිනා

මංගල පෝරුවට අභිෂේක කරවන්නේ නව යුවළකි. එබැවින් පෝරුව ද අලුත් එකක්‌ වීම අවශ්‍යය. උත්සව ගණනාවකට භාවිත කළ පැරැණි මඟුල් පෝරු නව යුවළකට සුදුසු නොවේ. එමෙන්ම පෝරුව සැකසිය යුතු ආකාරය ද පහත කවියෙන් විස්‌තර කෙරේ.

සතර දොරටුව තොරණ සතරද සිව්වරම් දෙවි රුව තනා

නොහැර නවගහ මඬල මුදුනේ එරන්කොත තබමින් මනා

කෙසර ගජලතා සියපත් දිලෙන සඳකඩ පහනිනා

පවර දෙව් විමනක සිරිය දී උඩුවියන් බැඳි විලසිනා

උක්‌ත කවියට අනුව සිදුහත් යශෝධරා යුවළට සදන ලද මඟුල් පෝරුවට අනුව දොරටු සතරක්‌ ඇති අතර සිව් දිශාවේ සතරවරම් දේව රූප තබා ඇත. මෙකල පෝරුව සතර දිශාවේ පුන්කළස්‌ තබා පහන් දල්වන්නේ මෙම සතරවරම් දෙවියන් වෙනුවෙනි. නවග්‍රහ මණ්‌ඩලය උඩු වියනේ සිතුවම් කිරීම කළ නොහැකි නම් ඒ වෙනුවෙන් පඬුරු 9 ක්‌ පෝරුව මත තැබිය හැකි වේ.

මේ අතර පෝරුව මත සහල්, බුලත්, පොල් ගෙඩියක්‌, පඬුරු තබා ලදපස්‌මල් ඉසිනු ලැබේ. පෝරුව චාරිත්‍ර ආරම්භ කිරීමට පෙර සුවඳ දුම් දෙනු ඇත. සහල් බුලත් ආදී සෞභාග්‍යයේ සංකේත මත සිට ගැනීමට වෙනත් අවස්‌ථාවක අවසර නො ලැබේ.

පෝරුවේ වම්පසින් (ඉදිරියේ සිට බලන විට) මනාලයා ද දකුණු පසින් මනාලිය ද, ඒ අසල යුවතිපතින්ගේ ඥාතීන් ද සිටින විට චාරිත්‍ර ආරම්භ වේ. පෝරුවේ චාරිත්‍ර සඳහා කෙනෙකු සිටියත් මේ අවස්‌ථාවේ තම තමන්ගේ ශුභාශිංසන නව යුවළ වෙත පැතිරවීමට ඥාතීන් හා හිතවතුන්ට ඉඩ ලැබේ. යුවළ පෝරුවට නංවනු ලබන්නේ සුබ නැකතකටය. ඊට පෙර පන්සිල් සමාදන් වීම සිරිතයි.

ශීලයෙන් තොර වන විට චරිතය කෙලෙසේ. චරිතවත් බව යුවතිපතීන්ගේ ජීවිතය පුරාවට රැකගත යුතු අවශ්‍යතාවයකි.

නව යුවළ

පෝරුවට නංවන නව යුවළ සතියකට පමණ පෙර සිටවත් ඒ සඳහා සූදානම් වීම අවශ්‍ය වේ. එනම් මත්පැන් භාවිතය, හරක්‌මස්‌, ඌරුමස්‌ වැනි මාංශ භාවිතය අත්හැරීමයි. අනාගත යුගය සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය 'පේවීම' මෙහි අරුතයි. එමෙන්ම මංගල උත්සවයට පෙර දින අධික වෙහෙසවීම් නිදිවැරීම්වලින් වැළකීම ද අවශ්‍ය වේ.

පෝරුවේ චාරිත්‍ර කරන්නා ද මේ සඳහා සූදානම් වීම අවශ්‍ය වේ. පෝරුව චාරිත්‍ර ගැන මනා අවබෝධයක්‌ තිබීම, කීමේ, බිනීමේ හැකියාව ඇති, ගුණයෙන් ශීලයෙන් වයසින් වැඩිමහල් වූ කෙනකු ඊට අවශ්‍ය වේ. පෝරුව චාරිත්‍ර කරන්නා ද කල් ඇතිව කිලි කුණුවලින්, මත්ද්‍රව්‍යවලින්, මස්‌ මාංශවලින් වැළකී පාන්දරින් ස්‌නානය කර බුදුන් දෙවියන් පුදා ඊට පිටත්විය යුතු වේ. මෙහි අදහස යුවළට සෙත් පැතීමට බුදුගුණ හා දෙවියන් පිළිබඳ අෂ්ටක ගායනා කිරීමට සුදුසු කෙනෙකු බවට පත් වීමයි. අෂ්ඨක කියන්නා පාවහන් පැළඳ සිටීම ද උචිත නොවේ. තවද හේ අසන්නන්ගේ අවධානය දිනා ගත හැකි තේරෙන භාෂාවකින් කරුණු ඉදිරිපත් කළ හැකි කෙනකු නම් මේ අවස්‌ථාව ආකර්ෂණීය වනවා ඇත.

සුබ නැකත උදා වීමට විනාඩි දහයකටවත් පෙර නව යුවළ පෝරුව අසලට කැඳවාගෙන පැමිණිය යුතුය. ඡායාරූප ගැනීම් ආදියට කාලය ගත කොට නැකත උදා වන වේලාවේම නව යුවළ පෝරුව අසලට පැමිණි වහාම පෝරුවට නැංවීමට සිදුවන අවස්‌ථා දක්‌නට ලැබේ. මෙය චාරිත්‍රවලට මහත් හානියකි.

පළමුව මනාල මහතා ද දෙවැනුව මනාලිය කැඳවාගෙන එන අතර මේ සඳහා බෙර වාදනය ඇතුළු තූර්යවාදනය ද යොදා ගත හැකි නම් උචිත වේ. ශුභ අක්‍ෂර හා ගණ වලින් නිකුත් වන බෙර හඬ පරිසරය තුළ සැබෑ මංගල අවස්‌ථාවක්‌ හා ඊට උචිත මානසික තත්ත්වයක්‌ අසන්නන් තුළ ඇති කිරීමට සමත් වෙයි. මෙතැන් සිට චාරිත්‍ර විධි සිදු කිරීම ආරම්භ කෙරේ. ඒවා අෂ්ටක කියන්නා විසින් මෙහෙයවනු ලැබේ. චාරිත්‍ර විධි පහත පරිදි වේ.

පහන් දැල්වීම හා පන්සිල් ගැනීම

ආරම්භයේදී පෝරුවේ සතර දිශාවේ පිහිටි පුන්කළස්‌ මත තැබූ පහන් හතර දල්වනු ලැබේ. මෙහි අදහස ධෘතරාෂ්ඨ, විරූඪ, විරූපාක්‍ෂ, වෛශ්‍රවන යන සතර වරම් දෙවියන් වෙනුවෙන් පාන් දැල්වීමයි. ලෝකය ශාසනය හා ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ ආරක්‍ෂාව වෙනුවෙන් සිවු වරම් දෙවියන් කැප වී සිටින බව මහාවංශය හා විවිධ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. පන්සිල් ගැනීම යනු සිල්වත් වීමය.

අනාගත යුග ජීවිතය පුරා හැසිරෙන්නේ කෙසේ දැයි මෙම පෝරුව චාරිත්‍ර මගින් නිරූපණය වන අතර මෙහි ආරම්භය ශීලය වන්නේය. පවිත්‍ර චරිතය සියලු යහපත් ක්‍රියාවන්ගේ ආරම්භය වේ.

යුවතිපතීන් පෝරුවට නැංවීම

මෙයින් අනතුරුව යුවළ පෝරුවට නැංවීම සිදුකෙරේ. මෙහිදී ද මංගල හේරී නාදය පවත්වන්නේ සක්‌ පිඹීමත් සමගිනි. පිරිත් වැකියත් සමඟ යුවළ පෝරුවට නංවන්නේ දෙපාර්ශ්වයේම මාමාවරුන්ගේ උදව් ඇතිවය. මාමාවරුන් මේ සඳහා යොදා ගත්තත් ඒ සඳහා පියා හෝ මව උදව් දීම වරදක්‌ ඇතැයි අපි නොදකිමු. කෙසේ වෙතත් මනාලයාගේ වම් පසින් මනාලිය සිටුවන සේ පෝරුවට නැංවිය යුතුය.

මෙය නිකම්ම නිකං ඇති වූ චාරිත්‍රයක්‌ නොවේ. බිරිඳ සිටිය යුත්තේ සැමියාගේ වම්පසිනි. ශරීරයේ නාඩි ක්‍රියාකාරීත්වය අනුව අඹු - සැමියන්ගේ සෙනෙහස වර්ධනය වන්නේ එවිටය. මෙහි 'නාඩ' යෑයි හැඳින්වූයේ වෛද්‍යවරුන් අත අල්ලලා බලන නාඩි නොවේ. ශරීරයේ හුස්‌ම ඉහළ පහළ යැම හා සම්බන්ධ විශේෂ ක්‍රියාකාරිත්වයකි. ඒවා කොඳුඇට පෙළ දෙපස පිහිටා තිබේ. යුවළක්‌ නිදා ගන්නා විට ද සැමියාගේ වම් අත පැත්තේ බිරිඳ නිදා ගත යුතු බව කියන්නේ එබැවිනි. පෝරුම මත සිටුවන්නේ මෙය පදනම් කරගෙනය. දැනටමත් විවාහ වී ඇතිනම් ඔබ ද මේ ක්‍රමය අනුගමනය කරන්aන.

තැලිපිළි පැළඳවීම

මුදු, මාල, වළලු හා ඇඳුම් ඇන්දවීම මෙයින් සිදුකෙරේ. පළමුව මනාලියට සුදු වස්‌ත්‍රයක්‌ අන්දවයි. එයින් අනතුරුව මුදු, මාල පළඳවා පසුදින අන්දවන සාරිය හෝ හැට්‌ටය සංකේතාත්මකව අන්දවන්නේ මනාලයා අතිනි.

මෙහි අරුත් දෙකක්‌ තිබේ. සුදුවතින් සංකේතවත් වන්නේ පවිත්‍රාවයයි. චරිතයයි. ජීවිතාන්තය තෙක්‌ පතිවත රැකීම එහි අදහසයි. දෙවැන්න සැමියාගේ යුතුකමයි. බිරිඳට ඇඳුම්, ආභරණ ආදිය සපයා දිය යුතු බව බුදුහිමියන් සිඟාලෝවාද සුත්‍රයේදී සැමියෙකුගේ යුතුකමක්‌ ලෙස වදාළහ. පෝරුව මත සිදු කෙරෙන මෙම චාරිත්‍රය ද මෙම යුතුකම සැමදා ශක්‌ති පමණින් කරන බව පෙන්වයි.

හඟල හුරුළු දීම

බුලත් කිහිපයක්‌ මත පඬුරු තබා හත්වරක්‌ යුවතිපතීන් විසින් මාරු කර ගැනීම මෙහිදී සිදු කෙරේ. පළමුව මනාලයා විසින් බුලත් හුරුල්ලක්‌ මනාලියට දෙයි. එය මනාලිය පෝරුම මත බිම හෙළා ඇය විසින් සූදානම් කෙරුනු බුලත් හුරුල්ල මනාලයාට දෙයි. එය ද මනාලයා විසින් පෝරුව මත හෙළනු ලැබේ. මේ සඳහා සූදානම් කරගත් බුලත් හුරුළු ලබා දීමට දෙපාර්ශ්වයේම ඥාතිවරයන් උපකාර කළ යුතු වේ.

මෙහි අදහස සත්මුතු පරම්පරාවක්‌ සිහිකිරීම බව සමහරු කියතත් එහි සැබෑ අරුත ඊට වඩා බොහෝ ගැඹුරට යයි. එනම් බෞද්ධ ආර්ථික ප්‍රතිපදාවයි. සපයන මුදල් භාර්යාවට නොසඟවා සැමියා භාර දෙයි. එයින් කළ යුතු යුතුකම් හයකි. ඒවා නම් සදිසා නමස්‌කාරයයි. එනම් මව්පියන්, ගුරුවරුන්, අඹුදරුවන්, හිත මිතුරන්, සේවකයන් හා පූජ්‍ය පක්‍ෂය වෙනුවෙන් වියදම් කිරීමයි. බිරිඳ ඒ සඳහා ධනය ආරක්‍ෂා කර අවශ්‍ය වූ විටෙකදී සැමියාට භාර දිය යුතු වේ. මේ හැර සත්වන බුලත් හුරල්ලෙන් කියන්නේ අසරණ අයට දෙනු ලබන දේ හෙවත් පරිත්‍යාගයයි.

මෙම චාරිත්‍රයට අනුව ධනය වියදම් කරන්නේ නම් එම යුවළ මනා සමාජ සම්බන්ධතාවන් පවත්වන අය වේ. ශක්‌තිමත් සමාජ සබඳතා ඉදිරියේ ඔවුන් ශක්‌තිමත් පවුල් ජීවිතයක්‌ ගත කරනු ඇත.

කැවුම් කිරිබත් අනුභවය

මෙම චාරිත්‍රයේදී පළමුව යුවළ වෙත පිරිසිදුÊවතුර බඳුනක්‌ පිළිගන්වයි. එය දෙදෙනා විසින්ම පානය කළ යුතු අතර පුරාණ සිංහල කැවිලි වන කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි සහිත පිඟානක්‌ ද දෙදෙනා අතට දෙනු ලැබේ. ඒවා දෙදෙනා විසින්ම එකිනෙකාට අනුභව කරවයි. පිරිසිදු වතුර අවර්ණය. ගන්ධයක්‌ නැත. එමෙන්ම ජීවිතය පුරා තම පතිවත බඹසර රැකගත යුතුය. අනෙක සහජීවනයයි. දුක - සැප බෙදා හදාගත යුතුය. මෙහි අරුත එයයි.

කිරිකඩ හේලය පිදීම

කිරිකඩ හේලය යනු බිරිඳගේ මවට හෙවත් නැන්දම්මාට මනාල මහතා හෙවත් බෑනා විසින් දෙනු ලබන තිළිණයකි. මෙම චාරිත්‍රය බොහෝ ඈත සිට ගෙන එන චාරිත්‍රයක්‌ බව ඒ පිළිබඳව කියන කවිවලින් පෙනේ.

ඈත අතීතයේ දී මංගල උත්සවයකදී තම දුව ඇති දැඩි කිරීමටත්, මවක්‌ වෙහෙසුණු ආකාරය කියන අතර මව විසින් තම දියණියට කොපමණ කිරි දුන්නේ දැයි බෑනා ප්‍රශ්න කරයි. එවිට එම මව පිළිතුරු දෙන්නේ මෙලෙසය.

"දුවට දුන් කිරි නම් - මැනලා නෑනේ මම නම්

පුතණුවනි එබැවින් - ගණන කොයි ලෙස පවසම්ද මම්

දස එකඩ මස සරි - උපන් දා සිට දුන් කිරි

කච්චියක්‌ රෙදි සරි තෙමෙන්නට ඇත දුවට දුන් කිරි.


එවිට බෑණා රෙදි කච්චියත් සපයා ගෙන ඒ මත ගිරයක්‌, කිල්ලෝටයක්‌ ආදිය තබා නැන්දම්මාට පිරිනමා තිබේ. මේ අනුව අදත් මේ චාරිත්‍රය සිදු කරන්නේ මනාලියගේ මවට කරනු ලබන උපහාරයක්‌ වශයෙනි. එහෙත් මනාලියගේ පියාටත්, මනාලයාගේ මව්පියන්ටත් බුලත් හුරුළු පිළිගන්වා ආශිර්වාදය ලබා ගැනීම මේ මොහොතේ ම සිදුවිය යුතුය.

අතපැන් වත්කිරීම

යුවතිපති දෙපළගේ දෙසුළඟලිබැඳ අත පැන් වත්කිරීම මගින් මනාලිය මනාලයාට පාවාදීම චිරාගත සම්ප්‍රදායයි. මෙහිදී මෙම චාරිත්‍රය සඳහා වඩාත්ම සුදුසුවන්නේ මනාලියගේ පියා බව අපගේ වැටහීමයි. මක්‌නිසාද යත් දියණියකට කවා පොවා හදා වඩා උගන්වා ඇය වෙන කෙනකුට පාවා දීමට සැබෑ අයිතිය ඇත්තේ පියාණන්ටම වන බැවිනි.

වෙස්‌සන්තර රජතුමා දරුවන් දන් දුන්නේ ද ඒ අන්දමිනි. මෙම දෙසුළඟිලි බැඳීම සඳහා රන් කෙන්දක්‌ යෑයි සිතමින් රන් පාට කෘත්‍රිම නූලක්‌ භාවිත කරනු දැකිය හැකිය. එහෙත් ඊට වඩාත් සුදුසුවන්නේ පිරිත් නූලක්‌ බව නොකිව මනාය. එමෙන්ම කෙණ්‌ඩියෙන් වත් කරන ජලයට වඩාත් යෝග්‍ය වන්නේ ද පිරිත් පැන්මය. මේ කටයුත්ත සඳහා මනාලියගේ පියා පැන් වත්කරන අතරතුර සෙත් පිරිත් කීම අෂ්ටක කියන අයට කළ හැකි වේ. මඟුල් බෙර වාදනය ද මෙවිට සිදු කෙරේ.

කසාදය රජයේ පොතක ලියාපදිංචි කර එය නීත්‍යනුකූල විවාහයක්‌ යෑයි පිළිගන්නට පටන් ගන්නේ මෑතක සිට ය. ඥාති මිතාදීන් සිය ගණනක්‌ ඉදිරියේ මඟුල් පෝරුව නම් සුවිශේෂී මණ්‌ඩපය මත අභිෂේක කොට පිරිත් කියමින් මෙසේ දෙසුළඟිලි බැඳ අත්පැන් වත් කිරීම, පොතක ලියනවාට වඩා බෙහෙවින් උසස්‌ චාරිත්‍රයක්‌ නොවේද?

ජයමංගල ගාථා කීම

මින් අනතුරුව දෙපළට ආශිර්වාද කරමින් ජයමංගල ගාථා කීම බාලිකාවන් විසින් සිදුකෙරේ¾ ජය මංගල ගාථා පාලියෙන් ද, සිංහලෙන් ද නිර්මාණය කර තිබේ. මේ සියල්ලේම අඩංගු වන්නේ බුදුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලය විදහා දක්‌වමින් සෙත් පැතීමකි. ''ඒ තේජසින් ජයමඟුල් දෙදෙනාට වේවා" යන අරුත ගාථා අවසාන පදයෙන් කියෑවේ. මේ වූ කලී බුදුගුණ ගායනා කරමින් කෙරෙන සත්‍ය ක්‍රියාවකි.

යුවළ පෝරුවෙන් බැස්‌සවීම

ශුභ නැකතට යුවළ පෝරුවෙන් බැස්‌සවීම චාරිත්‍ර අවසානයේ සිදුකෙරෙන අතර, එයට උචිත කවිද නිර්මාණය වී තිබේ. පෝරුවෙන් බසින විට මාමා හෝ අන් කෙනකු ඒ සඳහා ආධාර කරන්නේ නැති අතර දෙදෙනාම අත් අල්වාගෙන පෝරුවේ ඉදිරිපසින් බැස යයි. මෙහිදීද සෙත් පිරිත් කියනු ලැබේ. මේ අවස්‌ථාවේ මඟුල් බෙර වැයීම මෙන්ම පොල් ගෙඩියක්‌ බිඳීම ද කරයි.

උක්‌ත චාරිත්‍ර සඳහා විනාඩි හතළිස්‌පහකට ආසන්න කාලයක්‌ ගතවෙන අතර ඊට වඩා දීර්ඝ වේලාවක්‌ පෝරුව මත සිටීම යුවළට අපහසුවකි. සමහර අය පැයක්‌ පමණ පෝරුම මත සිටීමට නැකත් සාදනු අප දැක ඇත. මේ අතර පෝරුවේ චාරිත්‍ර සඳහා නැකත් ගණනාවක්‌ සෑදීම ද අවශ්‍ය නොවේ. මංගල පෝරුවට නැඟêම හා බැසීම සඳහා ශුභ නැකත් දෙකක්‌ තිබීම ප්‍රමාණවත් වේ.

මෙම කරුණු අනුව පෙනී යන්නේ මේ පෝරුවේ චාරිත්‍රවලින් සාර්ථක යුග දිවිය සංකේතවත් කරන බවයි. පතිවන හා බැඳුණු චරිතවත් බව, බෞද්ධ ආර්ථික ප්‍රතිපදාව, පිදිය යුත්තන් පිදීම, ශක්‌තිමත් සමාජ සබඳතා ඇතිකර ගැනීම, ආදරය, කරුණාව, පරිත්‍යාගය ආදී බොහෝ දේ මේ චාරිත්‍රවලින් නිරූපණය වේ.

කෙසේ නමුත් චාරිත්‍රවල සැබෑ අරුත නොදැනීම නිසාදොa මංගල උත්සවය අනවශ්‍ය වියදමෙන් පිරුණු නාස්‌තිකාර සැණකෙළියක්‌ බවට පත් වෙමින් තිබේ. මේ ගැන වැඩිහිටියන්ගේ මෙන්ම නූතන පරපුරේ ද අවධානය යොමුවිය යුතු කාලය එළැඹ තිබේ.
 


bm-usp